ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අඟහරුවාදා(27) අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කර ඇත.
ඒ, ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් කිරීම සහ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයන් සමඟ පැවැති සකච්ඡාවේ දී ය. ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සුදානම් වන්නැයි ද ගුරු විදුහල්පති වෘත්තිය සංගම් වෙත දැනුම් දී ඇත.
වසර විසිහතරක් පුරා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පැවැතිය ද මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබුණු බවත්, රටේ පවතින ආර්ථීක අර්බුදය පිළිබඳ පැහැදිලි අවබෝධයක තමන් සිටින බැවින් එක වර වැටුප් වැඩි කිරීමක් සිදු කළ නොහැකි වුව ද වැටුප් විෂමතාව අවම කිරීම සඳහා සුබෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කඩිනමින් කටයුතු කරන්නැයි ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයෝ ඉල්ලා ඇත.
මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා ,
"ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ පැහැදිලි අවබෝධයක මම ඉන්නවා. වැටුප් විෂමතාව අවම කිරීම අවශ්‍ය බවත් අපි රජයක් ලෙස පිළිගන්නවා. නමුත් රටේ පවතින තත්ත්වයත් ගෝලීය තත්ත්වයත් සමඟ රටේ ආර්ථීකය ඉතාමත් පහළ මට්ටමක පවතින නිසා ඉතා ඉක්මනින් වැටුප් ඉහළ දැමීමක් කිරීමට රජයට හැකියාවක් නොමැති බව ඔබ හොඳින් දන්නවා.
අධ්‍යාපන අමාත්‍යතුමා පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට ඔබේ ගැටලු පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මම කැබිනට් මණ්ඩලයේ දී ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙම ගැටලුව නිරාකරණය කිරීමට අපි සූදානම්. කෙසේ වෙතත් වැටුප් කොමිසම සමග සාකච්ඡා කර වැටුප් ගෙවීම පිළිබඳ තීරණයකට එළැඹිය යුතුයි."
මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෝ සමාජ මාධ්‍ය තුළ විවිධ පත්‍රිකා සංසරණය වන බවත් වැටුප් විෂමතාව සම්බන්ධව සුබෝධනී වාර්තාවට වෘත්තීය සමිති එකඟතාව පළ කරන බවත් එහි අන්තර්ගතය කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇත්දැයි තමන් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු, කැබිනට් මණඩලය අනුමත කළ කැබිනට් තීරණ මෙන්ම සුබෝධනී වාර්තාව ද පාදක කරගනිමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කර ඇත.
මේ වන විටත් ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවත්, ඒ පිළිබඳව මාස කිහිපයක් අධ්‍යයනය කර සකස් කළ කෙටුම්පතක් ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාපෙන්වා දී ඇත.
මෙම අවස්ථාවට අමාත්‍යවරු වන මහාචාර්ය ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, රමේෂ් පතිරණ, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරු වන සුසිල් ප්‍රේමජයන්ත, ලසන්ත අලගියවන්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එම්. උපාලි සේදර මහත්වරු සහ ගුරු විදුහල්පති සේවාව නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතවරු එක්ව සිටියහ.
Lanka Newsweek © 2026